අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා වන උසස් ජාතික ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HND ENGLISH ) පාඨමාලා සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ලබාගැනීමට හැකි වු බව අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු චමිල්ක මදුෂාන් සහෝදරයා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ජූලි 25 වනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චමිල්ක මදුෂාන් සහෝදරයා පැවසුවේ
“ඉංග්‍රීසී පාඨමාලාවට අදාලව NVQ 5 මට්ටමක් තමයි මෙතෙක් කාලයක් ලබාදුන්නේ. ඒ නිසා මෙම සිසුන්ට ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිදු වුනා. මේ සිසුන් ඉංග්‍රීසී ඩිප්ලෝමාධාරීන් උනාට රැකියාවකට ගියත් මේ ගැටලුව නිසා හරි පිළිගැනීමක් හම්බවුනේ නෑ. මොකද NVQ 6 මට්ටම නැති නිසා HND සමානාත්මතාවය හම්බවුනේ නෑ. දැන් මේ අයගෙන් ගොඩක් අය ඩිප්ලෝමාව අවසන්කරලා ඉවරයි. දැන් ඒ අයට මොකද වෙන්නේ. අපි කාලයක් තිස්සේ මේ ගැන බලධාරීන්ට කිව්වා. ඒ වෙනුවෙන් විවිධ මැදිහත්වීම් කළා. නමුත් ඒ කිසි කෙනෙක් මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වුනේ නෑ. ඇත්තටම මේ ප්‍රශ්න කලින් විසදන්න තිබුණු ඒවා. කෙසේ වුනත් අපේ අරගලය අද සාර්ථක වෙලා තියෙනවා. නමුත් අපි සූදානම් නෑ අපේ අරගලය මෙතනින් අවසන් කරන්න. මොකද අපේ උසස් තාක්ෂණ ආයතන පද්ධතියේ තව නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ අතර ප්‍රධාන ගැටලුවක් තමයි අපේ ඩිප්ලෝමාව උපාධියක් දක්වා උසස් කරගැනීමට අදාල ක්‍රියාවලිය සකස්කර ගැනීම. එයට අදාලව සාකච්ඡා දැන් ආරම්භ වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම ඒ සාකච්ඡා ඵලදායීව අවසන් වෙයි කියලා. කෙසේ වෙතත් බලධාරීන් මේ ගැටලුවට අදාලව ඉක්මන් මැදිහත් වීමක් සිදු නොකරන්නේ නම් HND අන්තරය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමග එකතු වෙලා මේ වෙනුවෙන් ජයග්‍රහණය තෙක් සටන් කරනව කියන්න කැමතියි ”
මෙම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සසිඳු පෙරේරා සහෝදරයා සම්බන්ධ වූ අතර
මාධ්‍යට අදහස් දක්වමින් සසිඳු පෙරේරා සහෝදරයා පැවසුවේ
“උසස් තාක්ෂණ ආයතනවල සිසුන්ට මේ ලැබූ අවස්ථාව අපි ජයග්‍රහණයක් ලෙස දකිනවා. මොකද අපිත් දන්න කාරණයක් තමා චමිල්ක මදුෂාන් සහෝදරයා කිව්ව විදිහට ඔවුන් මේ වෙනුවෙන් අඛණ්ඩ අරගලයක හිටියා කියන දේ අපිත් දැක්කා. නමුත් අපි දන්නවා HND, UNIVO TECH වැනි ආයතන මගින් ලබාදෙන අධ්‍යාපනය එක පද්ධතියක් විදිහට පෙළගස්වලා නෑ. ඒ නිසා තමා මේ වගේ ගැටලු මතුවෙලා තියෙන්නේ. ඇත්තටම මේ වගේ ආයතන රටට සම්පතක්. මොකද උසස් පෙළ සමත් වෙන හැමෝටම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්න අවස්ථාවන් නෑ. එහෙම අවස්ථාවන් අහිමි වන අයට මේ වගේ ආයතන හරහා තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරගන්න අවස්ථාව තියෙනවා. නමුත් මේවා මෙතෙක් කාලයක් නඩත්තු වෙලා තියෙන්නේ. ඒ මොහොතේ බලේ ඉන්න පාලකයන්ගේ දේශපාලන උවමනා එපාකම් මත.
මේ ආයතන වල ඉගෙන ගන්න සිසු සිසුවියන්ට ලබාදෙන ඩිප්ලෝමා සහතිකයට නිසි ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙනවද කියන එක ගැටලුවක්. ඒ විතරක් නෙමෙයි මේ සිසුන්ට ලැබෙන්නේ ඩිප්ලෝමාවක් විතරයි. එතනින් එහාට යාමට අදාල නිසි ක්‍රියාවලියක් නෑ.
ඒ විතරක් නෙමෙයි මේ ආයතනවල භෞතික හා මානව සම්පත්වල බරපතළ හිගයක් තියෙනවා. ප්‍රමාණවත් දේශකවරු නෑ, නේවාසිකාගාර පහසුකම් නෑ.නයිවල වගේ ආයතනවල හරියාකාරව පානීය ජලය නෑ. සමහර ආයතනවල විදුලිය නැතිව ගැටලු තියෙනවා.
මේ විදිහට අවශ්‍ය පහසුකම් නැති වීම නිසා මේ ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් පවා ගැටලු මතුවෙන්න පුලුවන්.
ඒ නිසා අපි බලධාරීන්ට අවධාරණය කරලා කියනවා මේ ප්‍රශ්න වෙනුවෙන් කඩිනමින් මැදිහත් වෙලා අවශ්‍ය විසඳුම් ලබාදෙන්න කියලා. එහෙම නැතිවුනොත් හෙට දවසේ සමස්ත ශිෂ්‍ය ව්‍යාපරයම මෙයට එරෙහිව පෙළගැස්වීමට අපි කටයුතු කරනවා.”
මෙම අවස්ථාවට උසස් ජාතික ඉංග්‍රීසී ඩිප්ලෝමාධාරීන්ගේ එකමුතුව නියෝජනය කරමින් ගිම්හාන් රංදික සහෝදරයා සම්බන්ධ වූ අතර, මාධ්‍යට අදහස් දැක් වූ ඔහු පවසා සිටියේ,
“ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් විදියට NVQ 6 මට්ටම අපට ලබාදීම අපි ලද ජයග්‍රහණයක් ලෙස අපි සලකනවා. ඒ වගේම අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන්ට අදාලව පාසල් පද්ධතියේ ගුරු පත්වීම් ලබාදීමට අදාළ කරන මැදිහත්වීම කරන ලෙස. එතෙක් අපි අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සමග ඉදිරියටත් අරගල කිරීමට සූදානම් බව ප්‍රකාශකර සිටිනවා.”
මෙම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් හා උසස් ජාතික ඉංග්‍රීසී ඩිප්ලෝමාධාරීන්ගේ එකමුතුව ද සම්බන්ද විය.
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය





